Tuesday, April 29, 2014

ඔයා බත් කෑවද ?


බොහොමයක් ගෙවල් වල දවසේ වැඩිපුරම කියවෙන වචනය 'අම්මා' ය. අපේ ගෙදරනම් වැඩිපුරම කියවෙන වචනය ඔවිනීය. ඒ මේ වගේ වැකිත්  සමගය.

ඔවිනි ඔය පුටුව පද්දන්න එපා ඔයා වැටෙයි 
ඔවිනි තාම හෝම්වර්ක්  අල්ලලාවත් නෑ
ඔවිනි දවල් කෑම එක එහෙම්මම ගෙනල්ලනේ. බෑග්  එකත් එක්ක පිලී ගඳයි .
ඔවිනි තාම යුනිෆෝම් එක පිටින් කීයටද ළමයෝ ඇඟ  හෝදන්නේ
ඔවිනි අන්න පීරිසි කෝප්පයක් කඩලා සද්ද නැතිව ඉන්නවා
ඔවිනි අක්කට කරදර කරන්න එපා එයා පාඩම් කරනවනේ
ඔවිනි ඔවිනි ඔවිනි ඔවිනි මුළු ගෙදරම ඔවිනි

මගදී හමු වූ නෑදෑයන් යාලු මිත්‍රයන් කවුරුත් අහන්නේ කොහොමද ඔවිනිලා එහෙම සනීපෙන් ඉන්නවාද කියලාය.

දැන් අපේ ගෙදරට සමහරු කියන්නේ ඔවිනිලා ගෙදර කියලාය.

මීට අවුරුදු දෙක තුනකට කලින් දවසක් මම  දාඩිය දමා තිබු කමිසය  ගලවා පුටු ඇන්දේ එළා පත්තරය කියවමින් සිටියෙමි. ඊළඟ  පුටුවට ළමා පත්තරයක් සමග පැමිණි ඔවිනි මා කළ  ලෙසම පුංචි ටී ෂර්ටය ගලවා පුටු ඇන්දේ දමා පත්තරය  කියවන්නට පටන් ගත්තාය .

තාත්තේ තාත්තේ ඊළඟට ඇගේ කරච්චලය පටන් ගත්තාය.
තාත්තා දන්නවද වැඩක් මෙහෙම ෂර්ට් එක ගලවාගෙන නිදහසේ ඉන්න පුළුවන් මේ ගෙදරින්ම තාත්තටයි මටයි විතරනේ.  මටත් තව ටික කාලෙකින් එහෙම ඉන්න බැරි වෙනවා.

ගැහැණු ළමයින් වයසින් වැඩෙන කතාව ඇය දුටු සුන්දර විලාශය ඒ විදිහය . ඇයගේ අලුත් උපන් දිනයක් එළඹෙන විට මට සතුටක් සේම බර කල්පනාවක්ද හිතට එන්නේය. අපි හැමෝම ආපහු වතාවක් ළමා වියට අතින් අල්ලාගෙන යන්නට සිටින්නේ ඇයයි. ඒ තව අවුරුදු කීයකටද?

මේ සිද්දිය වෙනකොට ඇය සිටියේ හතරේ පංතියේය. මම ඒ දවස්වල ඔෆිස් එකේ ඉවර කරන්නට බැරි වී ගෙදරත් ගෙනා  වැඩ ගොන්නකට යටවී සිටියෙමි. ඇස හා  හිත තිස්සෙම තිබ්බේ ලප්ටොප් එක මතය .
මා ලඟින් ගිය ඔවිනීගේ උපන්දිනය ළඟ  එන බව මට යන්තමින් මතක තිබිණි . මොනාද දුවේ ඔයාට උපන් දිනේට  ඕනි?.  මම පරිගණක තිරයේ දෑස් ඔබාගෙනම ඇසුවෙමි.ඇය මොකුත් නොකියාම පිළිකන්න පැත්තට ගියාය. මගේ සිහිකල්පනාව මදකට ලැප්ටොප් එකෙන් මිදීනි. මම ඇය සොයා ගියෙමි.

පිළිකන්නේ බිත්තිය පහුරු ගාමින් සිටි ඇගේ අතින් මම අල්ලා ගත්තෙමි .
කියන්න පුතේ මොකක්ද ඕනි ඔයාට අනිද්දනේ බර්ත් ඩේ එක.?

ඇය මහා පුදුම ප්‍රශ්නයක් මගෙන් ඇසුවාය.

තාත්තේ කාටවත් තුවාල වෙන්නැති පොඩි බෝම්බයක් කීයක් විතර වෙයිද?
දෙයි හාමුදුරුවනේ මේ කෙල්ල අහන්නේ මොකක්ද? මම තෝන්තුවට පත්  වීමි.

මොකද මොකද පැටියෝ එහෙම එකක් ඉල්ලන්නේ?

නෑ ඔය තාත්තගේ  ලැප්ටොප් එකට ගහන්න හිතෙනවා මට පුංචි බෝම්බෙකින්.

මේ සිද්දියෙන් අවුරුදු කීපයක් ගතවීත් මම අදද ඇයගෙන් උපන් දිනයට ඕනා මොනවාදැයි අසන්නට බය වෙමි.
ඒත්  ගිය ඉරිදාත් මට ඒ ප්‍රශ්නයම අහන්නට ඕනෑ  වුනේය.
දවල් කන්නට පුටුවෙන් නැගෙන්නට පෙර  මම ගෙදරට කතා කළෙමි.
ෆෝන් එක ගත්තේ ලොකු දොනීය.

ගත්ත ගමන් ඇය කිව්වේ 'බලන්නකෝ තාත්තේ අර දෙන්නා රණ්ඩු  වෙනවා පොඩි ළමයි දෙන්නෙක් වගේ මට වැඩක් කර ගන්නත් නෑනේ . ලොකු දෝනි  අර දෙන්නා කිව්වේ ඔවිනීට හා අම්මාටය.

'කතා කරන්න අම්මට'

අම්මා ආවාය. ඔවිනීට හිමි චෝදනා අහුරු අහුරු  රිසීවරය හරහා ගලා එන්නට විය.
බලන්නකෝ අනේ ඔවිනි උදේ ඉඳන් තාම මුණ හොදලත් නෑ. උදේ වත්තේ නටලා නටලා ආවා . දැන් අන්න  ටී වී එක ලඟින් හෙල්ලෙන් නෑ . ඔයාවත් ටිකක් සැරෙන් කියලා බලන්න .

දෙන්න ඔවිනිට .මම කිව්වේ ඇත්තටම ඇයට තදින් අවවාද කරන්නට ඕනැ  කියා හිතිලාය.
ඔවිනි ලයින් එකට ආවාය.

තාත්ති තාත්ති ඔයා කෑම කාලද ඉන්නේ ? ඇය සුපුරුදු හුරතලයෙන් ඇසුවාය.
ඉන්පසු අපේ කාන්තාර වැඩබිම සිසාරා සුවදායක  හුළඟක්  හමා ගිය අතර කොහෙන්දෝ පාත් වූ හිරිපොදයකට මම තෙමී ගියෙමි. අපේ වත්තේ ජෑම් ගස පුරා කිචි බිචි ගානා කුරුළු කිරිල්ලන්ගේ ශබ්දය මා අසලින්ම ඇසෙන්නට පටන් ගත්තේය.

ටික වෙලාවකින් මම කෑම කාමරයට ගියෙමි.
එදා බත් එකට ලුණු වැඩි වී ඇති වගක් මට දැනුනේය.

(චිත්‍රය ඇන්දේ ඔවිනී)
   

Tuesday, April 22, 2014

දේශප්‍රේමය හා පපුවේ කැක්කුම 2- සාශ්ත්‍රී

මේ කියන දවස්වල මම හිටියේ  නව දිල්ලි නුවරට  වෙලා මද්යම ආසියාතික රටක  රාජකාරි ගමනක් යන්න වීසා ලැබෙනතුරු බලාගෙන. යන්ට හිටි රටේ තානාපති කාර්යාලයක් ලංකාවේ නොතිබිච්ච හින්ද තමයි මේ අතරමැද රස්තියාදුව. ඉතින් වැඩි හරියක් කෙරුවේ වීදි පුරා ඇවිදින එකයි කාමරේට වෙලා ටීවී එකේ රිමෝට් එක ඔබ ඔබා නොයෙක් චැනල් මාරු කරමින් ගත කරපු එකයි. ඔය අතරේ මගේ හිත ඇදිලා ගියා ලාල් බහදුරි සාශ්ත්‍රී පිළිබඳව කෙටි වාර්තා වැඩ සටහනකට. පුංචි කාලේ රසවාහිනි සඟරාවල මොහු ගැන කියවලා තිබ්බට රූපමය වැඩසටහනකින් දැක්කේ එදා . යන්තම්  අඩි  පහක් තරමේ  උස ඇති   මේ කෙසඟ පුද්ගලයා ඉන්දියාවේ ජනප්‍රියම හෝ සමහරු කියන විදිහට සාර්ථකම අගමැති උනේ කොහොමද කියලා මට එදා හිතා ගන්න බැරි උනා.  මම ඒ වෙලාවේ ඉඳන් ශාස්ත්‍රී ගැන හොයන්න පටන් ගත්තා.


මා ලඟින් වාඩි වී එයාර් අස්තානා ගුවන් යානේ අල්මටා නගරය බලා යමින් හිටි වැඩිහිටි ඉන්දියානුවා එක්කත් මම කතාකරමින් ගියේ සාශ්ත්‍රී ගැනමයි.
ගුවන් ගමන් මාර්ගය වැටී තිබුනේ උස්බෙකිස්තානයේ අගනුවර වන තශ්කෙන්ට් නගරය උඩින් .


ඇෆ්ගනිස්ථානයේ දුර්ග මිටියාවත් පහු කලාට පස්සේ ගුවන් යානය දිගටම ගමනේ යෙදුනත් මගේ හිත ඊළඟට හමු වූ තශ්කෙන්ට් නුවරට  ගොඩ බැස්සා. ඉස්සර බලාපු සෝවියට් දේශය සඟරාවක තශ්කෙන්ට් සරසවියේ හිටි ශ්‍රී ලාංකීය සිසුන් පිරිසක් ගැන ලිපියක් කියවද්දී කවදා හරි එහාට යන්න ඕනි කියලා මට හිතුනා. අනික් අතට තශ්කෙන්ට් නුවරදී තමයි  ලාල් බහදුර් ශාස්ත්‍රී පපුවේ කැක්කුමක් හැදී මිය ගියේ . ඒ සිද්දිය වෙලා තිබ්බේ මම ඉපදෙන්නටත් ඉස්සර උනත් ඔහු ගැන අලුතින් මතු වූ උනන්දුවෙන් මගේ හිත පිරී තිබුනා.


මේ ලියන්නේ මට ගැට ගහ ගන්න පුළුවන් වූ ඒ අපූරු මිනිසාගේ කතාව ඉතාම කෙටියෙන්  ;


බරණැස් නුවර ගංගා නදීය අසලට රෙදි සෝදා  නා ගැනීමට ගිය මවක් 1904 අවුරුද්දේ දවසක මහා පිරිස අතරේ විලාප නගමින් දුව ඇවිද්දා. 'අනේ මගේ දරු පැටියා කෝ' . කිය කියා. ඇයගේ කිරි දරුවා නිදිකරවා තිබු වේවැල් කූඩය මහා පිරිස් අතරේ එහෙමෙහෙ  වෙලා අතුරුදහන් වෙලා.


මේ මහා ජනතාවක් අතරේ නැති වෙච්ච අත දරුවෙක් හොයනවා කියන්නේ ලේසි වැඩක්ද?. ඒත් අම්මා වැඩේ අත අරින්න සුදානම් උනේ නෑ . පොලිසි ගානේ දුවමින් හඬා වැලපෙමින් ඇය සිය දරුවා සෙව්වා . අන්තිමේදී ගොපලු නිවසක හදා වඩා ගනිමින් සිටි දරුවා ඇයට හමු වුනා. එසේ හමු නොවුනානම් කවුරුත් නොදන්නා ගොපල්ලෙක් වෙන්නට සිටි මේ දරුවා මහා දේශයක රාජ්‍ය නායකයා වෙලයි නතර උනේ.  මේ පදවිය   දක්වා ආපු අති  දුෂ්කර ගමනේදී ආපු ඊළඟ මරුපහර තමයි යන්තම් අවුරුදු එක හමාරක් වෙද්දී ඔහුගේ පියා මිය යෑම.


දේශපාලනයට ආගම ගාවා ගත යුතු නැතැයි අදහාපු  ශාස්ත්‍රී  උපන්නේ බුදු හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවලින් ආකාස තලය ගිගුම් දුන් බරණැස් නුවරදී . කැපවීම, සරල බව හා අධිස්ටානය වගේ ගති ගුණ ඔහු බුද්ධ චරිතයෙන් උකහා ගත් බවට කිහිප දෙනෙක් ලියා තිබුනා.


අවුරුදු නමයක්ම වරින් වර හිරබත් කාපු සාශ්ත්‍රී එක පාරක්වත් වංචා දුෂණ වගේ වැරදි වලට අහු වෙලා නෙවෙයි හිරේට ගියේ. රටේ නිදහස වෙනුවෙන් සුදු පාලකයන් එක්ක අවිහිංසාවාදී අරගල කරපු හින්දයි. මහත්මා ගාන්ධිගේ හොඳම අනුගාමිකයෙක් වෙච්ච ඔහු ජාතික සටනට අනගි සහයක් දුන්නා.


ඔහු හිරේ ඉන්න ගමන් මාරි කියුරි මැතිනිය ගේ ස්ව චරිතාපදානය හින්දි බසට  පරිවර්තනය කළා. ඔහු  ඉන්දියාවේ ස්වදේශ කටයුතු  ඇමති වෙලා හිටියට ඔහුට කියල හරි හමන් ගෙයක් තිබ්බේ නැ. ඔහුට කිව්වේ . homeless  home  minister කියලා .


ලෝකයේ විශාලතම දුම්රිය මාර්ග ජාලයක් තියෙන ඉන්දියානු දුම්රිය සේවය ඔහු නවීකරණය කලේ ඉන්දියාවේ දුම්රිය ඇමති වෙලා ඉද්දි. ඔහු දුම්රිය ප්‍රවාහනය සම්බන්ද ඉහලටම ඉගෙනගෙන තිබුනා. ඒත් ඒ කාලේ වෙච්ච දුම්රිය අනතුරකින් පස්සේ  සිය ඉල්ලා අස්වීම  අගමැති නේරුට බාර දුන්නා. මුලින්ම නේරු ඒ ලිපිය පිළිගත්තේ නෑ . ඔය අතර වාරයේ දෙවැනි දුම්රිය අනතුරත් සිද්ද උනා . ඒ පාරනම් ඔහුගේ ඉල්ලා අස්වීම නේරු බාර ගත්තේ මෙය අන් යටත් ආදර්ශයක් ගතහැකි හැසිරීමක් බව පවසමින්. ආයේ පාරක් චන්දෙකින්ම දිනලා පාර්ලිමේන්තුවට එනකන් ශාස්ත්‍රී  කිසිම ඇමති කමක් බාර ගත්තේ නෑ .


මේ ආදී පරමාදර්ශී ජීවිතයක් ගත කළා වුනාට ඔහු ඉතා ප්‍රායෝගික නායකයෙක් කියල ඔප්පු කළා . සමහර දේවල් වලින් ඔහු බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය අරන් දෙන්න ඔහුගෙන් පස්සේ වගකීම ගත්තු පිරිස සමත් වුනාද කියන එක ගැටළුවක්. ඒ වුනාට ඔහු තීරණ ගත්තා . ප්‍රශ්න ඇදී ඇදී  තියෙන්න දුන්නේ නෑ.
ඔහු ක්‍රිකට් ලෝලියෙක්. අගමැති වෙන්න ඉස්සර ඔහු ක්‍රිකට් තරගයක් නරඹන්න ගිය වෙලාවක නරඹන්නන් හා පොලිසිය අතර ගැටුමක් ඇති උනා. ඔහු මැද්දට පැනලා කෝලාහලය නැවැත්තුවා. සිරුරෙන් ඉතා කුඩා සරල මනුස්සයෙක් උනත් ඔහු වටා ගොඩ නැගී තිබ්බ ජනාදරය හින්දා තමයි එහෙම කරන්න පුළුවන් වුනේ.


1964 දී ඉන්දියාවේ අගමැති නේරු මිය ගිය විට ඊළඟ නායකයා වශයෙන් ඔහුව තේරෙන්නේ  අහම්බෙන්ම නෙවෙයි. ඒ සඳහා සියලුදෙනාගේ ප්‍රසාදය හා පසුබිම් සුදුසුකම් ඔහු විසින් සපුරා තිබුනා.  රටේ නායක කමට එන අරමුණින් ඔහු කවදාවත් උපායමාර්ගික ගමනක් ඇවිල්ලා තිබ්බේ නෑ .


1964 ජුනි ඉඳන් 1966 ජනවාරි වෙනකන් විතරක් රට පාලනය කරපු මේ පුද්ගලයාගේ පාලන කාලය ඉතාමත් අර්බුදකාරී එමෙන්ම ක්‍රියාශීලී කාලයක්. රජ ගෙදරින් පටන් ගත් අඩු වියදම් සරල ජීවිතය ගාන්ධිගේ දර්ශනය අනුවම ඔහු ඉදිරියට පවත්වාගෙන ගියා. ගොවිතැන හා කිරි කර්මාන්තය දියුණු කරන්න විදේශ ණය අඩු කරගන්න ඔහු රටේ හැමෝම සහබාගී  කර ගත්තා. ටික කාලයක් යනකන් මුළු රටම කන් කෙඳිරි ගානේ නැතිවම සතියකට එක වේලක් කෑම වර්ජනය කරලා ඔහුට වියදම් ඉතිරි කරලා දුන්නා .


ලංකාවට නිදහස ලබා ගන්ටත් කලින් ඉඳන් ඉන්දියානු දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි ප්‍රශ්නය කේවල් කරමින් තිබුනා. මේක මොනතරම් ගැටළු සහගත ප්‍රශ්නයක් වුනත් ඒ  පිලිබඳ එකඟතාවයකට එන්න ඔහු ඉදිරිපත් වෙනවා. සිරිමා සාශ්ත්‍රී ගිවිසුම බිහිවෙන්නේ මේ විදිහට. වතු කම්කරුවන් ලක්ෂ පහකට මදක් වැඩි පිරිසක් ආපසු ඉන්දියාවට ගෙන්නා ගන්නටත් ලක්ෂ තුනකට අපේ රටේම  පුරවැසි බව ලබා දෙන්නටත් තමයි මේ ගිවිසුමෙන් එකඟ වුනේ. ඒත් මේ විසඳුම පිලිබඳ නම් නොයෙකුත් විවේචන හා අසාර්ථකවීම් තිබුනා. ඒකට ඔහුගේ හදිසි මරණයත් බලපාන්න ඇති.


1965 දී ඉන්දියාවේ  දැවැන්ත ආහාර හිඟයක් ඇති  වෙනවා.ඒ මදිවාට පකිස්තානු දේශ සීමා දෙසින් යුද ගිනි දැල් ඇවිලෙනවා.
ඔහු මුලින්ම කරන්නේ සටනකට නොයා කෙලින්ම පකිස්තානය එක්කත් වටේ පිටේ රටවල් එක්කත් සකච්චා කර කර ගොඩින් බේරා ගන්න හදන එක . එකේ ප්‍රතිඵලයක් හැටියට ටික කලකට සටන් නිවී යනවා. පාකිස්තානේ නිහඬ වෙනවා .එත් මාස කීපයකට පස්සේ මෙන්න පාකිස්තානේ පැත්තෙන් ආයේ දේශ සීමාව ආක්‍රමණය කරනවා. මේ වෙලාවේ ශාස්ත්‍රී හමුදාවට පුර්ණ නිදහස දෙනවා දේශ සීමා ආරක්ෂා කර ගැනීමේ සටනට .


දැන් යුද්ද කරන්නත් ඕනි රටේ මිනිස්සුන්ගේ බඩවල් පුරවන්නත් ඕනි. ඔහු මේක කරන්නේ රටේම මිනිස්සුන්ගේ විශ්වාශය දිනමින් ඔවුන්ගේ  සිතුම්පැතුම් එක අරමුණකට යොමු කරවමින්.  


ලොව මෙතෙක් නිර්මාණය වූ ප්‍රභලම දේශපාලන ස්ලෝගන් එකක් වෙච්ච ජායි ජවාන් ජායි කිසාන් හෙවත් සෙබලා දිනේවා ගොවියා දිනේවා කියන වචන පෙළ  සමස්ත  ඉන්දියාවේම ජනයා ජාති ආගම්,කුල, ගෝත්‍ර බේදයකින් තොරව රැව් නංවන්නේ ඔහුගේ ඉල්ලීම නිසා .


ඔහු සටන මෙහෙයවනවා. ඉතා සාර්ථක විදිහට පාක්ස්ථානය පරාජය කරනවා. හමුදාව  සමග ඉන්දියාවම ජයග්‍රහණය සමරනවා. තෝරා බේරා නොගත් දේශ සීමාසීමාවේ බලය දැන් ,ඉන්දියාව අතේ. පකිස්තානය පසු බැස්සත් අවසාන විසඳුමක් ලැබී නෑ. කලාපයේ ලොකු අයියා,රුසියාව ප්‍රශ්නෙට මැදිහත් වෙනවා . මේ ප්‍රශ්නේ ආයේ ආයේ ඉස්මතු  නොවෙන්න  භුමිය සම්න්ධ එකඟතාවකට  එන්න දෙරටේම ලොක්කන්ට  බල කෙරෙනවා.


අන්තිමේදී සෝවියට් රුසියාවට අයත්ව  තිබ්බ උස්බිකිස්තානේ අගනුවර තශ්කෙන්ට් නුවරට ඉන්දීය හා පාකිස්තාන් රාජ්‍ය නායකයන් රැස් වෙනවා. සාශ්ත්‍රී පකිස්තාන් ජනාධිපති අයුබ් ඛාන් එක්ක එකඟතා ගිවිසුමක් අත්සන් කරනවා.


මේ තීන්දුව ගන්න එක වෙහෙසකරයි  මේ දවස් ටික වෙහෙසකරයි. ශාරීරීක මානසික වෙහෙසින් හෙම්බත් වෙලා හිටි රාජ්‍ය තාන්ත්‍රිකයා, සාශ්ත්‍රී එදාම රෑ පපුවේ කැක්‌කුම උත්සන්න වෙලා මිය යන්නේ, ජයග්‍රහනයක උද්දාමයෙන් පස්සේ  සාමයේ සොම්නස් හැඟුමෙන් සැනසෙන්ට හදාපු භාරත දේශයම අකම්පාල කරමින්.


සාශ්ත්‍රීගේ අරුම පුදුම නික්ම යෑම  කොයි කාටත් අදහා ගන්න බැරි වෙනවා. නොයෙක් මතවාද අවිශ්වාශ කිරීම් මැද මරණය වුනේ ඇත්තටම හර්දයාබාදයකින්ද නැත්නම් ඔහුව වස දී මරා දැම්මාද කියන එක ගැන සැක සංකා දිගින් දිගටම මතු උනා.

මේ මොනවා උනත් ඉන්දීය ජනතාව ඔහුගේ සීතල වෙච්ච හදවතේ තිබ්බ බලාපොරෝත්තු හඳුනා ගන්න උත්සහ කළා. ඒවාට ආදරය කළා. ඔහුගේ අර මුල් ස්ලෝගන් එකට පස්සේ කාලෙක එකතු වෙච්ච ඤාණය දිනේවා කියන අලුත් කොටස ඒ ආදරයේ ප්‍රතිඵලයක්.

(Photo: slbsrsv.ac.in )

Wednesday, April 16, 2014

දේශප්‍රේමය හා පපුවේ කැක්කුම 1- වේලු

ති දෙකේ අවුරුදු නිවාඩුව අහස් කුරක් වගේ වේගෙන් පිපිලා පරවෙලා ගියා. අවුරුදු පාර්සල් ගොඩක් උස්සගෙන අලුත් අවුරුද්ද දවසෙම මහා රාත්තිරියේ මම ගුවන් තොටුපලට ආවා .
ගෙදර හැමෝම සතුටු මුහුණින් නිවාඩුවේ ලං වෙලා ගොනු වෙලා හිටි සමාගම කඩා විසුරුවලා පාලොස්වෙනිදා වැඩට  ඉන්න හිතාගෙන ආයිමත් රටින් පිට වෙන්න වෙලා .

යාලුවන්ගේ නම් ටික මගෙන් අහගෙන අපේ ගෙදර ඇත්තෝ දුන්නු තෑගි පාර්සල් අතරින් එකක් උනේ මිස්ටර් රවිට කියල ලේබලයක් අලවාපු කැවුම් මුලක් . මේක දැකපු මට අමුත්තක් දැනුනා .  රවී කියන්නේ අපේ වැඩ බිමේ හිටි රියදුරෙක්. ඔහුට කැවුම් මුල ලැබුනාම මුනේමුයි ඇස් දෙකෙමුයි හිනා වෙන්න පටන් ගත්තා . මගේ කාමරය ලඟින් අද දවස පුරා එහාට මෙහාට ගියා ඕනෑවටත් වඩා වාර ගණනක්. කාමරය දිහාට ඔලුව දික්කරගෙන ස්තුති පුර්වකව ආචාර කරගෙන. රවිට පපුවේ මහන්සිය තියෙනවා. මට කියලා ලංකාවෙන් එනකොට සිංහල බෙහෙත් වගයක්  ගෙන්නා ගත්තා.

රවීගේ සීයලා තලවාකැලේ පැත්තේ හිටි වතු කම්කරුවන් . 1964 දී සිරිමා ශාස්ත්‍රී ගිවිසුම නිසා ලංකාවේ හිටි දෙමල කම්කරු පවුල් මහා ගොඩක් ආපහු ඉන්දියාවට ගියා . මේ ආපසු ගමන, එහෙ ගිහින් පදිංචි වීම, අලුත් ජීවන අරගලය වගේ සිද්දීන් මහා දුක්බර කතා ගොඩක්. සීයලා රට දාලා ගියාට  රවිගේ තාත්තලා ලංකාවේම රැඳුනා .

රවී ඉපදුනේ ලංකාවේ උනාට පවුල් පන්සල් වෙලා ආයෙමත් තමිල්නාඩුවට ගියා සීයලා ලඟට . බාගෙට ලංකාවේ බාගෙට ඉන්දියාවේ. ලංකාවයි ඉන්දියාවයි අතරේ ක්‍රිකට් තරගයක් තියෙනකොට තමයි රවී අවුල් වෙන්නේ. කාට සපෝර්ට් කරනවද කියලා. ලංකාව වෙන රටක් එක්ක ගහනකොට රවී ලංකාව පැත්තේ. ඉන්දියාවයි වෙන රටකුයි ගහනකොට රවී ඉන්දියාව පැත්තේ .

රවී බණ්ඩාරවෙල ඉඳන් හපුතලේ දුවපු ප්‍රයිවෙට් බස් එකකුත් එළවලා තියෙනවා. මම හිතන්නේ රවිය අපේ වේළු අඳුරන්නේ  නැතිව ඇති.

වේලු , සෙල්ලම්මා යුවල තමන්ගේ මන්ද පෝෂණයෙන් පෙලෙන දරුවන් හතර  දෙනාත් එක්ක හිටියේ අපේ ගෙවල් ළඟ තේ වත්තේ තනි ලැයිම් කාමරේ. වෙලුගේ ගෙදරට අපි සිංහල අවුරුද්දට කැවිලි පිගානක් යැව්වා ඒ දවස්වල. මේ කියන්නේ හැත්තෑව  දශකයේ මැද. මහා සාගතේ දවස්වල . වේළුට පපුවේ කැක්කුමක් තිබ්බා . සෙල්ලම්මා අඬාගෙන  ඇවිල්ලා වේලු අසනීපෙන් ඉන්නා බව කියපු දවසක අපි ගියා වේලු බලන්න . ගොම මැටි ගාපු ලයින් කාමරේ බිම එලාපු ගෝනි පඩන්ගුවවක වේලු කෙඳිරි ගගා හිටියා . බඩ  මහත කෝටු  අතපය තියෙන වේළුගේ දරු පැටවුන් හතර දෙනා මේ ගැන තේරුමක් නැතිව සෙල්ලම් කරමින් හිටියා .

මේ සිද්දියෙන් පස්සේ සිංහල අවුරුදු කිට්ටු දවසක අපේ ගමේ වී මෝල  ළඟ වී ගෝනි තියාගෙන පෝලිමේ හිටි පිරිස අතරේ වේළුත් හිටියා .  වේලු කාගේදෝ වී ගෝනියක් අඹරාගෙන යන්නට ඇවිත්.  ඔහු මහන්සියට වගේ වී ගෝනිය උඩ  වාඩි  උනා . එක පාරටම කව්දෝ වැඩිහිටියෙක් ඉස්සරහට පැනලා වේළුට අතුල් පාරක් ගැහුවා මෙහෙම කියන ගමන් .

' යකෝ නැගිටපන්. මේ බුද්ද බෝගේ උඩ  තොගේ  පස්සා පැත්ත තියන්න එපා පරයා '

වේලු ඇස්වල කඳුළු පුරෝගෙන නැගිට්ටා. පැත්තකට වෙලා අහක බලාගෙන හිටියා .  එදා මගේ පපුවේ හීන් කැක්‌කුමක් දැනුනා. කෙඳිරි ගගා ගෝනි පඩන්ගුවේ නිදාගෙන හිටි වේලු . අර දරු පැටවුන්ගේ තාත්තා, කණ හරහා වැදුන පාරින් අසරණ වුන හැටි මට බලා ඉන්න බැරි උනා .

අසු තුනේ කළු ජූලිය කාලේ වේලු සිය දරු පවුලත් සමග කොහේදෝ වත්තකට ගියා. පස්සේ කාලෙක ඔහු පපුවේ අමාරුවෙන්ම මිය ගිය බව  ආරංචි උනා.

මම වේළු ගැන කල්පනා කරමින් ඉද්දී ආයිමත් වතාවක් රවීගේ මුහුණ කාමරයට එබිකම් කරලා යන හැටි පෙනුනා .

(නිදහස් ඉන්දියාවේ දෙවන අගමැති  ලාල් බහදුර්  සාශ්ත්‍රී  අපේ රටේ  වේළුලාගේ රවීලාගේ ප්‍රශ්නෙට මැදහත් වෙලා දුක බෙදා ගත්තා. ඔහු හරි පුදුම දේශපාලකයෙක්. මේ කතාව තමයි  ඊළඟ කොටසින් මම ලියන්න හිතාගෙන ඉන්නේ.)
*****
සටහන; මේ ලියා ඇත්තේ සත්‍ය සිදුවීම්වල මතක සේයා අනුසාරයෙන් නිර්මාණය කරන ලද කෙටි කතාවකි. පුද්ගල නාම හා ස්ථාන නාම සත්‍ය ඒවා නොවිය හැක